සොකරි නාටකය අස්වැන්න උපද්දා ගැනීම හා සෞභාග්‍යය උදෙසා පවත්වන ලද වත්පිළිවෙත් ඇසුරෙන් ගැමි ජනයා අතර පැන නැගුණ ස්වාධීන දේශීය කලා අංගයක් වශයෙන් කලා විචාරකයන් හදුන්වයි. එහි යම් තර්ක විතර්ක නැතුවාම නොවේ. සොකරි නාටකය සම්ප්‍රදායානුකූලව රග දක්වන ලද්දේ ගොයම් කපා අවසන්, හිස් වූ “කමත” රංග භූමිය ලෙස භාවිතා කරමිනි. ගොයම් කපා අස්වැන්න ගෙට ගැනීමෙන් පසු එළඹෙන කාල වකවානුව කාර්ය බහුලත්වය තුරන් වීම නිසා ගම්මුන් විවේක සුවයෙන් ගත කරන සමයකි. මෙම නාටකය විනෝදය සදහා පමණක් නොව යාතුකර්මීය වශයෙන් ගමට සෙත,සෞභාග්‍යය උදාවීම සංකේතවත් කොට ගත්තක් වශයෙන්ද සැලකිය හැක. සොකරි නාටකය උඩරට සම්ප්‍රදායේ කලාවක් වශයෙන් ප්‍රචලිත නිසා මෙයට ගැට බෙරය (උඩරට බෙරය) ප්‍රධාන වශයෙන් යොදා ගන්නා ලදී. (ඇතැම් පළාත්වල උඩැක්කිය, දවුල ද යොදා ගෙන ඇති බව සදහන් ය.)

සොකරි නාටකය වනාහි ලක්දිව පවත්නා ඉතාම පැරණි ගැමි නාටකයක් බව මෙහි පෙනෙන්නට තිබෙන ඇතැම් ලක්ෂණවල අනුසාරයෙන් අපට නිගමනය කළ හැකිය. වචන වල තේරුම ඕනෑකමින් ම වටහා ගන්න බැරි ලෙසත් දැක්වීම හා එකම ක්‍රියාව පුන පුනා නිරූපණය කිරීම යනාදියෙන් හාස්‍ය රසය ද, දිගින් දිගට සුළු සිද්ධිය පවා අනුකරණය කිරීම ද, නාට්‍ය වස්තුවේ පැහැදිලි ගොනු කිරීමක් නැති වීමද මෙහි දක්නට ලැබෙන අනිවාර්ය ග්‍රාමීය ලක්ෂණයන් ය. මෙම නාටකයේ යාතුකර්මීය අගය ස්මතු වන්නා වූ අවස්ථාව වශයෙන් සොකරියගේ මෙම දරු උපත දැක්විය හැකිය. සොකරිය ගැබ් ගැනීමෙන් ඇත්ත වශයෙන්ම සංකේතවත් කරන්නේ මිහිකත හෙවත් පොළොව ගැබ් ගැනීමකි. එනම්, පොළොවේ උත්පාදන ශක්තිය , ඵලදායි අස්වැන්න , සශ්‍රීකභාවය හා සෞභාග්‍යය උදාවීමක් ලෙසිනි.

වර්ෂයක් මුළුල්ලේ වෙහෙස මහන්සි වී භවභෝග ගොවිතැන් කටයුතුවල යෙදී අස්වැන්න ගෙට ගත්තාට පසු ගතට සිතට දැනෙන විඩාව මහන්සිය නිවාගෙන ගම්වැසියන් කිසියම් සහනදායි බවක් ලබනුයේ මෙවැනි සොකරි නාටකයක් නරඹාය. ගමේ වැඩිහිටි මෙන්ම තරුණ තරුණියන් ද සොකරි නාටක නරඹා ලබන මානසික ශක්තිය හා සොම්නස එක් අතකින් ඊළග කන්නයේ හෝ අවුරුද්දේ වැඩ කටයුතු ආරම්භ කිරීමට චිත්ත ධෛර්යයක් ලබා දීමටත් අනෙක් අතට ගැමියන් තුළ මුල් බැසගත් මිථ්‍යා විශ්වාස, ගුප්ත රෝග හා මානසික ආබාධ නිවාරණය කිරීමටත් ආධාරයක් වන කලානුසාරී ඖෂධයක් වන්නේය. සොකරි නාටකය තුළ ඇතුළත් මානසික විරේචනය, මනෝවිශ්ලේෂණවාදයට අනුව සැලකුවහොත් යටිහිතේ ඇති වන හැගීම් හේතුකොටගෙන හටගන්නා ආතතීන්ගෙන් බේරීම සදහා, මිනිසා නිරන්තරයෙන් කරන සංරක්ෂණ ප්‍රයෝග උපකාරී කරගෙන ඔහු තමාගේ මානසික සමතුලිත බව රැකගන්නේ මෙවැනි මත විශ්වාසයන් පදනම් කරගෙනය.මෙලොව රකින දෙවි, දේවතාවුන් ඇත, රෝග හටගන්වන යක්ෂ, ප්‍රේත, භූත ආදීන් ඇත, රෝග සුව කිරීමට යාගහෝම,දොළ පිදේනි පුද පූජා කළ යුතුය, සශ්‍රීකභාවය, සෞභාග්‍යය වැඩි වන්නේ දෙවියන්ට පුදපූජා කිරීමෙන්‍ ය.. යන ආකල්ප තුළින් මිනිසා ලබන සංතෘප්තිය ඔහුගේ, ඇයගේ ජීවිතය පවත්වාගෙන යාමට හේතු සාධක වේ. මේ අනුව බලන කල එකල සොකරි නාටකය සමකාලීන ජන ජීවිතයේ පුද්ගල අභ්‍යන්තර සිතුවිලිවල අසහනය මැඩලීමේ ඖෂධයක් වශයෙන් ක්‍රියාත්මක වූ බවට සැක නැත.

WhatsApp Image 2024 09 25 at 10.19.29 ab87f1b9

තවද, මෙම ලිපිය තුළින් සොකරිය හා ගැමි කාන්තාව පිළිබඳ කතා කිරීම වටිනේ යැයි අදහමි. සොකරි යන නාමය හින්දුස්ථාන භාෂාවෙහි “යුවතිය හෙවත් රූමතිය” යන අරුතින් චොක්‍රී ශබ්දය ව්‍යවහාර කෙරෙන බව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ගැමි නාටකය ශාස්ත්‍රීය ග්‍රන්ථය තුළ දක්වා ඇත.

සොකරියගේ චරිතය දැඩි සාමාජීය වටිනාකම් වලින් යුත් චරිතයක් ලෙස නිරූපණය කරනු ලැබ ඇත. ඇයගේ ක්‍රියාදාමයන් මුල සිට හිතුවක්කාරී ස්වරූපයක් ගනු ලබයි. ආඩිගුරුට ඇය කල් යත්ම ප්‍රේම නොකරයි. එයට සාධාරණීය හේතුසාධක මින් පසු අපි කතා කරන්නෙමු. තවද ආඩිගුරු ඇයව විවාහා කරගනු ලබන්නේ ද ගුරුකමකිනි. මේ නිසාම දෝ ඇය පරයාට හා විශේෂයෙන්ම වෙදරාළ කෙරේ ඇලුණු සිතකින් කටයුතු කරයි. එනමුත්, ඇයගේ කුස තුළ දරුවෙක් පිළිසිදගත් විගස මේ සියලු කෙළිලොල්කම් උඩුයටිකුරු වේ. ජීවිතයේ යථා අරුත වන පතිනියක්, මවක් පිළිබඳ ඇගේ සිත බරවූවා සේ, කුල්මත්ව, සොම්නසින් ඉපිළුනා සේ පෙනෙයි. ඒ අනුව මෙහි එන සොකරි චරිතය අනවබෝධයෙන් සිට සම්මත අවබෝධාත්මක තතවයට පත් සාමාජීය වටිනාකම් හා හරයන් අතින් ආදර්ශමත් තත්වයක් දක්වා වර්ධනය වූ චරිතයක් වේ. සොකරි නාටකය අවසානායේ ඇය දේවත්වයකට (පතිනිය හා සමකරයි) පත්කරනු ලබන්නේ ද එහෙයිනි.

සොකරි කතා පුවතෙහි උඩුපෙළ තේමාව වද ස්ත්‍රියාවියකට දරුවෙකු ලැබීම වුවද, එහි යටිපෙළ (subplot) අර්ථයෙන් ගත් කල විශාල අරුත් රැසක් ප්‍රේක්ෂකයා හමුවේ ඉදිරිපත් කෙරේ. එනම් “අතෘප්තිකර විවාහා ජීවිතයක් තුළ අතරමං වන ගැහැනියක වරදට පෙලඹෙන අයුරුය. සමස්ත ලෝකය තුළ කාන්තාවකට ලැබිය හැකි උත්තරීතර පදවිය වන මවක් වීමේ සිහිනය සියලු කාන්තාවන් සතු බව මෙම පෙළ අර්ථ විවරණයේදී අපට පසක් වන්නකි. සාමාන්‍ය ගැහැණියකට සමාජයේ ලැබෙන ස්ථානයට වඩා ඉහළ වටිනාකමක් මවු පදවියට සමාජය විසින්ම ලබා දී ඇත.එසේම වද ස්ත්‍රියකට හිමිවන ස්ථානය සමාජය තුළ පහළම මට්ටමකට පත් කර ඇත්තේද අපි මේ කතා කරන සමාජය නම් අන්ධ භක්තිකයන් පිරි, සංස්කෘතිකමය රාමුවකට කොටු වූ සමූහය විසින්මය.

විවාහක පිරිමියා බීමත්ව (සොකරි කතාවට අදාළව ගුරුහාමි හෙවත් ආඩිගුරු කංසා,කසිප්පු,රා බී හා බුලත් හපා වැනි ලෙස) නිදි යහනට පැමිණි පසු විවාහක කාන්තාව ඔහු සමග සංසර්ගය තෘප්තිමත්ව කරන්නේ කෙසේද? ඇයට පිළිකුලක් නොදැනේද? ඇය කල් යත්ම එම කර්තව්‍යය කිරීමට මැළිවීම සාමාන්‍ය නොවේද? දරුවෙක් හැදීමට තියා ඇය ඔහු සමග නිදි වැදීමටත් කමැති වේද? එබැවින්, ඇය වරදට පෙළඹෙන්නේ සිය පිරිමියාගේම වරදින් නොවේද? යන්න අප විසින්ම තර්කානුකූලව සිතිය යුත්තකි.නොගැලපෙන විවාහා කුටුම්භයකට හිර වූ කාන්තාව එතනදී අසරණය. එකළ ගැමියා මෙම සොකරි කතාව මගින් සමාජයට සැලකිය යුතු පණිවිඩයක් ලබා දුන් අතර එයින් සමාජ ශෝධන කාර්යයන් ඉටුවෙන බව ඔවුන් විශ්වාස කරන්නට ඇත. එනම්, පුරුෂයෙකු විවාහයකදී ස්ත්‍රියගේ වයස හා ගති ස්වභාවයන් පිළිබඳ සැලකිලිමත් වියයුතු ආකාරය, කාන්තාව විවාහයේදී තමාට ගැළපෙන, ගුණවත්, තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි, පුරුෂයෙකු තෝරාගත යුතු ආකාරය.. ආදී වූ කරුණු පෙන්වා දීමෙන් පෙනී යන්නේ සොකරිය එකළ ගැමි සමාජයට පමණක් නොව වත්මන් සමාජ සංස්ථාවට පවා ආදර්ශවත් කතා පුවතක් බවයි.

වැඩිදුර කියවීම් සදහා,

  • ශ්‍රී ලංකාවේ නාට්‍ය හා රංග කලාව (සොකරි නාටකය) – රෝලන්ඩ් අබේපාල , යසවර්ධන අබේපාල / සාර ප්‍රකාශන, කොට්ටාව.
  • සිංහල ගැමි නාටකය (සොකරි නාටකය)- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගොඩගේ ප්‍රකාශන, මරදාන.
  • රාජ්පුත්- සිංහල නෑකමේ සිහිවටනය “සොකරි” – කොලට් සේනානායක, නාරද කරුණාතිලක / බෝධි සභාව, තාරණඋඩවෙල.
  • නාට්‍ය හා රංග කලාව 1 (සොකරි නාටකය)- ඩබ්ලිව් ජයවර්ධන , ප්‍රියදර්ශන ප්‍රකාශන, ගම්පහ.

සම්පාදනය – ඩිල්රංග පෙරේරා